Home News Breaking කැලණි ගඟට පැන මිය ගිය තරුණයා ගේ කතාව

කැලණි ගඟට පැන මිය ගිය තරුණයා ගේ කතාව

252 views
SHARE

බියගම, යබරලුව ප්‍රදේශයේ පොලිස් මෙහෙයුමක් අතරතුර කැලණි ගඟට පැන මිය ගිය තරුණයා සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.

එහි ලේකම් ආරියදාස කුරේ පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබෙන්නේ නම් සොයා බැලීමට හැකියාව පවතින බව යි .

එලෙස මිය ගොස් ඇත්තේ, කලුගල බඹරගස්වැව ප්‍රදේශයේ පදිංචි අසංක විජේබණ්ඩාර නමැති 22 හැවිරිදි තරුණයෙකි.

ඊයේ පෙරවරුවේ පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් කැලණි ගඟේ කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා නාවික යාත්‍රාවකින් නිරීක්ෂණ චාරිකාවක නිරතව සිට තිබේ.

පොලීසිය පැවසුවේ බියගම, යබරලුව ප්‍රදේශයේදී කැලණි ගඟේ අනවසරයෙන් වැලි ගොඩදමමින් බෝට්ටුවක සිටි අදාළ තරුණයා පොලීසිය දැක දියේ ගිලී අතුරුදන් වූ බව ය.

අනතුරුව නාවික හමුදාවේ කිමිදුම් නිලධාරීහු ඊයේ පස්වරුවේ ඔහුගේ මෘත දේහය සොයා ගනු ලැබූහ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ඔහුගේ දේහය රාගම රෝහල වෙත රැගෙන යාමට නියමිත බව ත් බියගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව ත් පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළා .

විවාහක පුද්ගලයෙකු වන අදාළ තරුණයා දඹුල්ල ප්‍රදේශයේ සිට කොළඹට පැමිණ ඇත්තේ, කුලී වැඩවල නිරතවීමේ අරමුණින් ය.

කෙසේ වෙතත් මේ පිළිබඳව කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ තම නිලධාරීන් නිසි ලෙස සිය රාජකාරිය සිදුකර ඇති බව ය.