Home News Breaking වැඩ වර්ජනය ගැන ජනපති කතා කරයි

වැඩ වර්ජනය ගැන ජනපති කතා කරයි

161 views
SHARE

රජය සයිටම් ගැටලුව විසඳීමට ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගෙන ඇති අවස්ථාවක දේශපාලන අවශ්‍යතා අනුව වැඩ වර්ජනවල නිරත වීම කණගාටුවට කරුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, අද පෙරවරුවේ අනුරාධපුර පැවති උත්සවයකට එක්වෙමිනි.

ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ, දේශපාලන අවශ්‍යතා අනුව සිදුකෙරෙන මෙම වැඩ වර්ජනවලින් පීඩාවට පත් වන්නේ, වරප්‍රසාද ලත් පන්තිය නොව, රටේ අහිංසක පොදු ජනතාව බව ය.

ගැටලුවක් ඇත්නම් ඕනෑම වෘත්තීය සමිතියකට රජය සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, සයිටම් සිසුන් සඳහා සායනික පුහුණුව අනිවාර්ය කිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන පරික්ෂණයකට අනිවාර්යයෙන් පෙනී සිටීම, වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් නිවේදනය කිරීම ඇතුළු පියවර රැසක් මේ වන විටත් ගෙන ඇති බව ය.

එමෙන් ම අදාළ පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීම, තනි පුද්ගලයෙකු සතුව තිබූ ආයතනය සාමූහික ව්‍යාපාර ආයතනයක් බවට පත් කිරීම, ආයතනයේ පරිපාලනය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් යටතට පත් කිරීම ද එම තීරණ අතර වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, අධ්‍යාපනයේදී කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට තමා ඉඩ නොතබන බව ය.